Sunday, September 11, 2016

ද්‍රෝහීන් ඕනෑ කර තිබේ (කවි) අශාන් වීරසිංහ


අන්ධකාරය පවා
එළි බහින්නට බියෙන්
ගෙට වැදුණු
මූසලම යාමයක
සිංහ වෙස් මූණු ඇඳි
කැණහිළුන්
තැන නොතැන මිනිස් ලේ
ඉව කරපු
මරණයත්
අවමනත්
විතරක්ම අතින් ගෙන,
දිවි ගෙවන උන් තකා
හුස්ම ඇහිඳිනු පිණිස
විස්සෝප හ්ත්වලින් මග බැහැපු
"ද්‍රෝහීන්" කීපයක් හින්දාම
උන්ට කිසි බිය නැතුව
වියරුවෙන් කෑගසා කිව හැකිය
ද්‍රෝහියා යන වදන
තවම ඒ ලේ රහම ඉව කරන
කැණහිළුන් මග සරන් හින්දාම
දිවි ගෙවන උන් පිණිස
අලුත් "ද්‍රෝහීන්" බිහිවිය යුතුය!
(පිටුව 41)

අශාන් වීරසිංහ මා මුලින්ම දකින්නේ මුහුණු පොතෙනි.එහි විටින් විට ඔහු පලකරන කවි තැනින් තැනින් කියවා තිබුනත් ඔහුගේ කවි හොඳින්ම කියවන්නේ මේ පොත හරහාය.මම දැක්ක අශාන් හිතුවක්කාර කවියෙකි.කපිල එම්. ගමගේ කවියා කියන පරිදි "දඩබ්බරයෙකි".අශාන් ලියන කවි වල රැඩිකල් ගතියට මුසු වූ අව්‍යාජත්වයක් දක්නට ලැබේ.ඉතින් ඔහු රැඩිකල් කවියෙකි.
+කළුවරේ තිප්පොල
+බිකිනි තහනම්
+පරණ නයි හැව
+තව ඇබින්දක්...
එයට හොඳම නිදසුන්ය.

අශාන් ගේ ලියැවිල්ල පූරුය.සමාජයේ විසුලු ක්‍රියාවලීන් ඔහු අමුවෙන්ම නිශ්ප්‍රභා කර දමයි.අස්තානගත වූ මිනිසත් කම ගොඩ ගැනීමට උත්සාහ ගනී.මේ ක්‍රියාවලියම එස්.මහින්ද වැනි චීවර දරයන්ද ක්‍රියාවට නැන්වීය.එහෙත් ඒවායේ තිබූ අවුස්සන ගතිය අශාන්ගේ කවිවල මා දකින්නේ නැත.ඔහු ඇවිස්සී ඇති සමාජය සන්සුන් කිරීමට උත්සහ දරයි.තප්පුලන මී හරකුන් නිහඬ කිරීමට අදහස් කරයි.අදහස නම් අපූරුය එහෙත් එය ක්‍රියාත්මක කළ හැකිවන්නේ හරකුන්ගේ අයිතිකාරයන්ටය.


හැර ගියවුන්ගේ වත-
                 සෙල්මුවා කැන්වසය මත
                 මතක සායම් මුහු කර
                 සටහන් කළා ඔහු ඇසුරු කළ                    
                 ගැහැණුන්ගේ වත
                 උන් සැවොම පෝළිමට
                 වාරු කර ගල් බිත්තියට
                 බලා සිටියා ඔහු
                එකල උන් කළ කී දෑ
               පහළ පොකුණේ දිය කෙළින
               මහ බිසෝගේ දකුණු පියොවුර
     කස්සපට හොරෙන් තෑගි දුන්නා ඔහු
               අන්තිමට යාළු වී සිටි කෙල්ලට

කවියා මේ ප්‍රකාශකරන්නේ මහා කළා නිර්මාණයක් ලෙස සැලකෙන සීගිරියේ අප්සරාවන්ගේ ස්වාමියා ගැනය.බොහෝ කළා කරුවන් සීගිරිය සිය නිර්මාණ කර්තව්‍ය සඳහා යොදා ගත් නමුත් මා ඒ චිත්‍ර ශිල්පිය පිළි බඳව කියැවීමක් දකිය පළමු අවස්තාව මෙයයි.අශාන් දකින්නේ අලුත්ම කෝණයකිනි.එය ආගම්වාදී ද නැත,භෞතිකවාදී ද නැත,ආධ්‍යාත්මවාදී ද නැත.එය මානවවාදී ය.බොහෝ කළා කරුවන් සිය නිර්මාණයන් ජනිත කරන්නේ සීමා මායිම් තුල පැල පදියම් වීමෙන් පසුවය.එය ඔවුනොවුන් විසින් හා සමාජය විසින් පනවාගත් ව්‍යාජ සීමාවන්ය.මා විශ්වාස කරන කළා කරුවා අව්‍යාජ විය යුතුය,ඔහු නිර්මාණ කරණයේදී හෙලුවෙන් සිටිය යුතුය,නිරූපිත සීගිරි අප්සරාවන් මෙන්.එවිට පාටකයාට සැබෑවටම නිර්මාණ රසවිඳීමට හැකියාව ලැබෙයි.මා "ද්‍රෝහීන්" පොත පුරාවටම දකින්නේ මානව ආදරයයි,හදගැස්මයි.

මා මේ පොත කිසිදා සම්මානයක් නොලැබෙන කුලකයට දමමි,ඒ මෙහි කවි වල ඇති දෝශයක් නිසා හෝ රචකයාගේ දෝශයක් නිසා නොව අපේ සමාජයට ඇත්ත කියන රැඩිකල් අදහස් නොදිරවන බැවිනි.තමන් තුල ඇති අස්ථාන ගතවීම දැකීමට ඇති අප්‍රසාදය හේතුවෙනි.තමා ජීවත් වන සමාජයට තමා කරවන අතුරුදහන් කිරීම පෙන්වා දීම නොදිරවන බැවිනි.මා සිතන්නේ ලාංකික පුස්ථක සම්මාන උළෙලවල් දෙස බැලූවිට මගේ කුලක තේරීම නිවැරදි බවයි.
අශාන්ගේ පොත රසවත් කවි 33 යුක්ත වූවකි.ආරම්භක කවියත් අවසාන කවියත් දක්වාම ඇත්තේ මහා දිගු සබැඳියාවකි.කවි රසිකයෙකු නම් ඔබ කියැවිය යුතු පොතකි.

අවසාන වශයෙන් අශාන්ගේ කියැවීමක් මෙසේ සටහන් කරමි.
"මගේ අත්දැකීමේ හැටියට අප අතර ජාතිවාදී නැඹුරුවක් (ඔවුන්ට අනුව දේශප්‍රේමී) ප්‍රකට කරන බොහෝ අය මිනිසුන් වශයෙන් 'නරක' කුලයට වැටෙන්නෝ නොවෙත්".

මෙය කතෘ ප්‍රකාශනයකි. (ashanweerasingha@gmail.com) මගින් විමසීමෙන් පොත පිළිබඳව විස්තර ලබාගත හැකිය.මිල රුපියල් 250/= කි.

තියුණු අසිපතක සෙවන යට (වාර්තා) -තමිළිනී ජෙයරාක්කුමාරන්


2015.08.30 වන දින "තමිළිනී" ලියන සිය පෙරවදන ආරම්භ කරන්නේ "දිගටම අරගල කරමි" යනුවෙනි.එහි තවත් තැනක මෙසේ සඳහන් වේ,"මේ රටේ තවත් වතාවක් ලේ ගංගාවක් ගලා නොයා යුතුය.කිසිම මාතාවක් තම දරුවාව වැදූ කුසට ද දරුවාව හොවා ඇති මිනී පෙට්ටියට ද ගසමින් අඬා වැලපීම නොකල යුතුය".

පෙරදිග ලෝකයේ මුතු ඇටය යැයි කියාගන්නා  අඹ ඇටයක හැඩය ගත් මේ කොදෙව්වේ අමානුශික යුද්ධයක් ඇව්ලුනු බව අප කාටත් මතකය.මහල්ලන්ද,දරුවන්ද,ළදරුවන්ද,තරුණයන්ද යනාදී සියලුම වයස්  වල ගැහැණුද පිරිමිද ලේ වගුරවමින් මේ මිහිතලය සිප ගත්තේය.නූපන් ලදරුවෝ මේ කෘරත්වය නොදැනම නැවත හැරී ගියහ.ඇතැමුන් එය විප්ලවය ලෙස හැදින්වීය,ඇතැමුන් එය මානුෂීය මෙහෙයුම ලෙස හැදින්වීය.මට නම් එය මහා අමානුෂීය ලේ වැගුරුමක් පමණක්ම විය!.මේ කථාව ලියැවෙන්නේ ඒ වූ කෘර ලේ වැගිරීමේ කොටස් කාරියක් අතිනි.මෙය කථාවකට වඩා පාපෝච්චාරනයක් ලෙස හැදින්වීම නිවැරදි යැයි මා සිතමි.

කතුවරිය මෙය ආරම්භ කරන්නේ 2002 වර්ශයේ පැවති සටන් විරාමය සමගිනි , 'ඒ' නවය මාර්ගය විවෘර්ත කිරීමේ සිදුවීම සමඟිනි.එහෙත් ඇය මෙය අවසන් කරන්නේ යුද්ධය නිමා වී පුනුරුත්තාපනය ලබා ගැනීමෙනි.
කථාව පුරා ඔවුන් කියන පරිදි 'අරගලය' කරන්නේ මහා කැපවීමෙනි,බලාපොරොත්තුවෙනි,මහා ප්‍රේමයෙනි.ඔවුන් කෑම නැතිව දුක් විඳිති , වතුර නැතිව දුක් විඳිති.මේ සියල්ල කරන්නේ ස්වේච්චා ශ්‍රම වැගිරීමෙනි.මා දුටු තමිළිනී ස්ත්‍රීත්වය බිම දමා පෑගූ විප්ලව කාරියකි,දේශපාලඥයෙකි,නායිකාවකි,අපූරු ගැහැණියකි.
දකුණට නොපෙන්වූ උතුරේ පසුබිම බොහෝ දරුණුවට පැතිර තිබිණි.දකුණට පෙන්වූ තරම්ම යකා කළු නොවී තිබිණි.
ඔවුන් යුධ වැදුනේ සිය ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා වෙනි.ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙනි.වැදගත්ම දෙය නම් දකුණෙන් උතුරට සිදු වූ අසාදාරන වෙනුවෙනි.ඔවුන්ට වෛද්‍ය සේවාවන් විය , හමුදාවක් විය දෙපිරිසම යුධ වැදුණි ඒ සිය ජනතාව වෙනුවෙණි.
(පිටුව 36-37)

මුලදී කොටි සංවිධානයේ ශක්තිමත් බව , කැපවීම ප්‍රකාෂකරන මැය , අවසාන කාලයේ කොටි සංවිධානයේ දුර්වලතා හා කෘරත්වය ප්‍රකාශ කරයි.මුලින් එක්ව කල විප්ලවය අවසන තනිව කිරීමට සිදුවූ බව ප්‍රකාශ කරයි.මා සිතන පරිදි තමිළිනී මෙය ලියා ඇත්තේ පසු තැවීමෙනි,දුකෙනි,කනගාටුවෙනි.

යුද්ධය සාධාරණී කරනය කළ නොහැක එහි අංශුමාත්‍රයක් පවා කුරිරුය බිහිසුනුය.ඒ කුරිරුත්වය විඳි ගැහැණියකම ලියන සිය හෘදශාක්ෂිය මෙයයි.මෙය එක දිගට ගලාගෙන යන පාපෝච්චාරනය යි.
කල්පනාවෙන් ,මෙය නිළදාරිණියක විසින් ලියූවකි.ඒ හෙයින් මෙයින් ජනතාවගේ විප්ලවය,සිතුම් පැතුම්,බලාපොරොත්තු සෙවීම නිෂ්ඵලය.යුද්ධය මතුපිටින් අතගා බැලීමට මෙය රුකුලක් වනු ඇත.
එසේම මෙය පරිවර්තනය කළ සාමිනාදන් විමල් ද මතක් කළ යුතුය.ඔහුගේ පරිවර්තනය නොවන්නට මෙය මෙතරම් කියවීමට රසවත් නොවනු ඇත.වෙනත් භාෂාවකින් ලියූවක් තවත් භාෂාවකට ගැලපෙන ලෙස පරිවර්තන පහසු කාර්යයක් නොවේ.එහෙත් එය ස්වාමිනාදන් සාර්තකව ඉටුකර තිබේ.

"ඒ අතර මගේ අභ්‍යන්තරික හැඟීම් සිය දිවි නසා ගැනීමෙන් මරණයට පත්වීම යන්න පිළිගැනීමට පැකිලෙන බවක් දැනෙන්නට විය."
කියවා බලන්න,ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රකාශනයකි.සූරස පොත් මැදුරේ බෙදා හැරීමකි.ලංකාව පුරා ප්‍රධාන පෙලේ පොත් හල් වලින් මිලදී ගත හැකිය.මිල රුපියල් 450/= කි.

Wednesday, September 7, 2016

තෙරියුම් කෝකිළා (කවි) - කපිල එම්. ගමගේ


මිනිසෙකු වටහා ගැනීම බොහෝ අපහසුය එහෙත් කළා කරුවෙකු වටහා ගැනීම පහසුය.එයට හේතුවක් ඇත.සෑම මිනිසෙකුම සිය සිතිවිලි ප්‍රකාශ කරන්නේ නැත,ඒ හෙයින් ඔහු දැකිය නොහැකිය.එහෙත් කළා කරුවෙකු සිය සිතිවිලි කලා කෘතීන් ලෙස ඉදිරිපත් කරයි.එවිට ඔහුගේ කළා කෘතීන් තුලින් ඔහුව දැකිය හැකිය.

මිනිසෙකු ගේ සාමාජීය හැසිරීම ඒ සමාජයේ සියලූම මිනිසුන්ට වැදගත්ය.බලපෑම් කළ හැකිය.මා දකින ආකාරයට අප සමාජයේ සිදුවූ විශාලතම සාමාජීය වැරැද්ද නම් ජාතිවාදය වැපිරීමය.එහි අමිහිරි ම අතුරු ඵලය වන යුද්ධයෙන් අප රට බොහෝ කාලයක් දුක් වින්දේය.මෙය කියවන බොහෝ දෙනෙකු එයට ශාක්ෂි දරාවි,මිනිසුන් ජාතීන් දෙකක් ලෙස බෙදී දෙපැත්තකට වී එකිනෙකා මරාගත්තේය.වෛරය,ක්‍රෝධය වැපිරුවේය.ඒ වැපුරූව තුලින් මහා කුරිරු අස්වැන්නක් නෙලා ගත්තේය.අවසන ලේ වගුරුවමින්,ජීවිත බිලි ගනිමින්,දේපල විනාශ කරමින්,හීන බිඳ දමමින් යුද්ධය නිමා විය.ඉන් පසුව එලැඹියේ පස්චාත් යුධ සමයයි.දැන් එලැඹ තිබෙන්නේද ගෙවෙමින් තිබෙන්නේද ඒ සමයයි.මෙහිදී කළ යුත්ත බොහෝය.නොකල යුත්ත බොහෝය.කළ යුත්ත අවබෝධ කරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමත් නොකළ යුත්ත අවබෝධ කරගෙන ඒවා නොකර සිටීමත් මුලින්ම කළ යුතුය.සිදු නොවෙමින් පවතින්නේද එයයි.
                                                  කළා කරුවන්ට මේ යුද්ධය සිය නිර්මාණ  වල්ට තිඹිරි ගෙයක් විය.හඬා  වැටෙන්නට කඳුලක් විය.හම්බුකරන් කන්නට රස්සාවක් විය.කෙසේ වෙටත් යුධ සමයේ ඒ ආශ්‍රිතව බිහි වූ බොහෝ කළා කෘතීන් හි කටුකත්වය මුසු වූ රසයක් දක්නට විය.
                                                     "තෙරියුම් කෝකිළා"කපිලට අනුව යුද්ධයේ ශේෂ පත්‍රයයි.නිමවූ යුද්ධය ඔහු දකින්නේ කොයි ආකාරයකින් ද,ඔහුගේ කවියා එය ජීවමාන කරවන්නේ කොයි ආකාරයකටද,මෙය තුලින් වටහා ගත හැකිය.
                    කෙදිනක හෝ දවසක කෝකිලා ලා කියන දේ අප සැවොම තේරුම් ගන්නා දිනයක් යනු 'මගේ ඒකාන්ත සිහිනයයි.'කපිල සිය කෘතිය ආරම්භ කරන්නේ එසේය.

තෙරියුම් කෝකියා -
                        කෝකිලානුඹ කළු තමයි
                        ඒත් සිනහව සුදු තමයි
                        හැමදා ම නුඹ දුටුව සිහිනය
                        නුඹට හරියට බර වැඩියි.
                       ඇමරිකන් වහලක්,ගෙයක්
                       දිගැටි ඔස්ටින් කාර් එකක්
             පොත් ගොඩක් කියවලා නොනිදා
                       වෙද නලාවෙන් මාලයක්
                      හීනි අඩි උස සපත්තුවකින්
                මැදපු පොළොවට ටොකු ඇණන්
                      පිච්චමල කණ උඩින් ගවසා
                       සාරි පොට උරහිස වසන්
                       යාපනේ ඉස්පිරිතාලයේ
                       ඥාති මිතුරන් ලෙස බලන්
                       අනේ දැක්කත් ඇතිය කියනා
                       උන්ගෙ ලඟ සිනහව තියන්

ඔව් කෝකිලා ඔයා කලු යි තමයි...ඒ ඔයාගෙ  පිටත,පෙනුම...ඒත් කෝකිලා ඔයාගෙ සිනහව හරි සුදුයි..,ඔබ නිර්මලයි ඔව් කෝකිලා ඔයාගෙ ඇතුලාන්තය සුදුයි..පිරිසිදුයි ඔබ හැමවෙලේම බලාපොරොත්තු වූ ඉලක්කය නුඹට ලොකු වැඩියි කෝකිලා...නුඹට ඒ ඉලක්කය,සිහිනය ලබාගන්ඩ තරන් සුමට සමාජයක් නෑ කෝකිලා.යුද්ධය මේ සියල්ල ඔබෙන් ඈත් කරා,තාතිවාදය මේ සියල්ල ඔබෙන් ඈත් කළා,එකිනෙකා මරාගැනීම හින්ද මේ සියල්ල ඔබෙන් ඈත් කරවූව.ඒ සිහින ඔබට බර වැඩි උනෙ නෑ බර වැඩි කළා.

ඇමරිකන් වහලක් තියන ගෙයක් ,දිග ඔස්ටින් කාර් එකක් අන්තිමට වෛද්‍ය වරෙයෙක් වෙලා සාරියක් ඇඳක් ආඩම්බරයෙක් ඇවිදන් යන්ඩ කෝකිළා හීම මැව්ව.තමන්ගෙ ගමේම තමන්ගෙ පිරිසට සාත්තු කරන්ඩ කෝකිලා හීන මැව්ව.හරි අහිංසක හීන මැව්ව.ඒ හීන,අහිංසකත්වය සිංහලයයි දෙමළයි ගහගෙන නැතිකරා.
                                  
පොත අවසන මෙසේ සඳහන් වෙයි.
"තෙරුයිම් කෝකිලා ඒ ශේෂ පත්‍රය කවි ඇසකින් නිරීක්ෂනය කිරීමක් ලෙස ගැනීම වඩාත් සාදාරණ ය."

                                     කපිල කවි කියන තැන අපූරුය,.ඔහු සිය කවියෙන් තට්ටු කරන්නේ පහලම අඩියටය.ඇතැම් කතුවරු බහු ජනයා යොදාගෙන යුද්ධය හා හඬද්දි කපිල පොඩි තැනක් හොයාගෙන දරුණු පහරක් එල්ල කරයි.යුද්ධය නිසා අහිමි වූ දේපල,ජිවිත ගැන කියන කලා කෘති අතරෙ අහිමි වූ හීන ගැන රචනා වෙද්දී මහා ලොකු සංවේදී ගතියක් එහි ජනිත වෙයි.කළාකරුවෙකු තට්ටු කළ යුතු තැනට තට්ටු කළ යුතුය.ඒ තට්ටු කළ යුතු තැන හඳුනා ගැනීම කළ යුතුය.

කපිලගෙ එම්. ගමගේ කවියාගේ සිය "තෙරියුම් කෝකිළා" කෘතියෙහි ඇති "තාතෙක් නම්" කවියද ඉතා අපූර්ව ගනයේ කවියකි.පිය පදවිය නම් වූ පිරිමියෙකුට උත්තරීතරම පදවිය පිළිබඳව ඉතා රසවත්ව කළ ගෙනහැර පෑමක් එහි අන්තර්ගතය.

මේ කවි කියවන විට මාගේ මතකයට එන්නේ මාගේ පියාය.ඔහුගේ කැපකිරීම්,උත්සහයන් දැක කපිල මේ කවි පංතිය රචනා කළේදැයි මට සිතේ.මේ බහුතර පියවරුන් ගැන කපිල රචනා කළ කවිය මා මගේ පියා ඉදිරියේ කියවූ විට ඔහු පවා හැගුම්බර විය.මෙය මා මේ කවිපොතේ ආසාකරන ම කවිය යැයි පැවසුවහොත් මා නිවැරදිය.මෙය පියවරුන්ට ගැයූ උපහාර ගීයක් වැනිය.

තාතෙක් නම්-
             තාතෙක් නම්
             තිබිය යුතුම ය
             බඩගින්න
             නොනැදෙනා මොහොතක්
             මසවුලින් පිරි
             වීදි පසු කොට
             යන්න හැකි
             එඩිතර ම මනසක්
             තාත්තෙක් නම්
             තිබිය යුතුමය
             අපවාද උහුළනා පපුවක්
             තියුණු විෂ හී
             ඉවත් කළ විට
             කඳුලු නොගලන
             අරුම දෙනෙතක්
                                           (කොටසක් පමණි)

මා මුලින් සඳහන් කළ කළා කරුවෙකු හඳුනා ගත හැකි සේ කපිල එම්. ගමගේ සිය කළා කුසලතාවය තුලින් නිරීක්ශනය කළ හැකිය.ඔහු යුද්ධය දුටුවේ කෙසේද,ඔහු ජීවිතය දුටුවේ කෙසේද,ඔහු ආදරය දුටුවේ කෙසේද, කොටින්ම ඔබ මා හෙවත් සමාජය දුටුවේ කෙසේද,. කපිලගේ කවි පොතෙන් ඔහුව කියවා ගත හැකි ආකාරයි.

කවි පොත් කියැවීම බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වන්නේ නැත.එය හේතුව නම් බොහෝ කවි පොත් නීරස හා කටුක වීමයි.එහෙත් මෙහි කවියෙන් කවිය නවමු රසයක් ජනිත කිරීමට කවියා සමත් වෙයි.
පොත හැබෑවටම අපූරු කවි  33 යුක්ත වන අපූර්ව සංග්‍රහයකි.එහි හිත නැවතෙන තැන් බොහෝය.සෑම කවියක් අවසනම රසවිඳිය හැකිය.ඔබ කවියට කැමති නම් කියවිය යුතු පොතකි.


(සූරස ප්‍රකාශනයකි.මිල රු.200/=)