Sunday, September 11, 2016

ද්‍රෝහීන් ඕනෑ කර තිබේ (කවි) අශාන් වීරසිංහ


අන්ධකාරය පවා
එළි බහින්නට බියෙන්
ගෙට වැදුණු
මූසලම යාමයක
සිංහ වෙස් මූණු ඇඳි
කැණහිළුන්
තැන නොතැන මිනිස් ලේ
ඉව කරපු
මරණයත්
අවමනත්
විතරක්ම අතින් ගෙන,
දිවි ගෙවන උන් තකා
හුස්ම ඇහිඳිනු පිණිස
විස්සෝප හ්ත්වලින් මග බැහැපු
"ද්‍රෝහීන්" කීපයක් හින්දාම
උන්ට කිසි බිය නැතුව
වියරුවෙන් කෑගසා කිව හැකිය
ද්‍රෝහියා යන වදන
තවම ඒ ලේ රහම ඉව කරන
කැණහිළුන් මග සරන් හින්දාම
දිවි ගෙවන උන් පිණිස
අලුත් "ද්‍රෝහීන්" බිහිවිය යුතුය!
(පිටුව 41)

අශාන් වීරසිංහ මා මුලින්ම දකින්නේ මුහුණු පොතෙනි.එහි විටින් විට ඔහු පලකරන කවි තැනින් තැනින් කියවා තිබුනත් ඔහුගේ කවි හොඳින්ම කියවන්නේ මේ පොත හරහාය.මම දැක්ක අශාන් හිතුවක්කාර කවියෙකි.කපිල එම්. ගමගේ කවියා කියන පරිදි "දඩබ්බරයෙකි".අශාන් ලියන කවි වල රැඩිකල් ගතියට මුසු වූ අව්‍යාජත්වයක් දක්නට ලැබේ.ඉතින් ඔහු රැඩිකල් කවියෙකි.
+කළුවරේ තිප්පොල
+බිකිනි තහනම්
+පරණ නයි හැව
+තව ඇබින්දක්...
එයට හොඳම නිදසුන්ය.

අශාන් ගේ ලියැවිල්ල පූරුය.සමාජයේ විසුලු ක්‍රියාවලීන් ඔහු අමුවෙන්ම නිශ්ප්‍රභා කර දමයි.අස්තානගත වූ මිනිසත් කම ගොඩ ගැනීමට උත්සාහ ගනී.මේ ක්‍රියාවලියම එස්.මහින්ද වැනි චීවර දරයන්ද ක්‍රියාවට නැන්වීය.එහෙත් ඒවායේ තිබූ අවුස්සන ගතිය අශාන්ගේ කවිවල මා දකින්නේ නැත.ඔහු ඇවිස්සී ඇති සමාජය සන්සුන් කිරීමට උත්සහ දරයි.තප්පුලන මී හරකුන් නිහඬ කිරීමට අදහස් කරයි.අදහස නම් අපූරුය එහෙත් එය ක්‍රියාත්මක කළ හැකිවන්නේ හරකුන්ගේ අයිතිකාරයන්ටය.


හැර ගියවුන්ගේ වත-
                 සෙල්මුවා කැන්වසය මත
                 මතක සායම් මුහු කර
                 සටහන් කළා ඔහු ඇසුරු කළ                    
                 ගැහැණුන්ගේ වත
                 උන් සැවොම පෝළිමට
                 වාරු කර ගල් බිත්තියට
                 බලා සිටියා ඔහු
                එකල උන් කළ කී දෑ
               පහළ පොකුණේ දිය කෙළින
               මහ බිසෝගේ දකුණු පියොවුර
     කස්සපට හොරෙන් තෑගි දුන්නා ඔහු
               අන්තිමට යාළු වී සිටි කෙල්ලට

කවියා මේ ප්‍රකාශකරන්නේ මහා කළා නිර්මාණයක් ලෙස සැලකෙන සීගිරියේ අප්සරාවන්ගේ ස්වාමියා ගැනය.බොහෝ කළා කරුවන් සීගිරිය සිය නිර්මාණ කර්තව්‍ය සඳහා යොදා ගත් නමුත් මා ඒ චිත්‍ර ශිල්පිය පිළි බඳව කියැවීමක් දකිය පළමු අවස්තාව මෙයයි.අශාන් දකින්නේ අලුත්ම කෝණයකිනි.එය ආගම්වාදී ද නැත,භෞතිකවාදී ද නැත,ආධ්‍යාත්මවාදී ද නැත.එය මානවවාදී ය.බොහෝ කළා කරුවන් සිය නිර්මාණයන් ජනිත කරන්නේ සීමා මායිම් තුල පැල පදියම් වීමෙන් පසුවය.එය ඔවුනොවුන් විසින් හා සමාජය විසින් පනවාගත් ව්‍යාජ සීමාවන්ය.මා විශ්වාස කරන කළා කරුවා අව්‍යාජ විය යුතුය,ඔහු නිර්මාණ කරණයේදී හෙලුවෙන් සිටිය යුතුය,නිරූපිත සීගිරි අප්සරාවන් මෙන්.එවිට පාටකයාට සැබෑවටම නිර්මාණ රසවිඳීමට හැකියාව ලැබෙයි.මා "ද්‍රෝහීන්" පොත පුරාවටම දකින්නේ මානව ආදරයයි,හදගැස්මයි.

මා මේ පොත කිසිදා සම්මානයක් නොලැබෙන කුලකයට දමමි,ඒ මෙහි කවි වල ඇති දෝශයක් නිසා හෝ රචකයාගේ දෝශයක් නිසා නොව අපේ සමාජයට ඇත්ත කියන රැඩිකල් අදහස් නොදිරවන බැවිනි.තමන් තුල ඇති අස්ථාන ගතවීම දැකීමට ඇති අප්‍රසාදය හේතුවෙනි.තමා ජීවත් වන සමාජයට තමා කරවන අතුරුදහන් කිරීම පෙන්වා දීම නොදිරවන බැවිනි.මා සිතන්නේ ලාංකික පුස්ථක සම්මාන උළෙලවල් දෙස බැලූවිට මගේ කුලක තේරීම නිවැරදි බවයි.
අශාන්ගේ පොත රසවත් කවි 33 යුක්ත වූවකි.ආරම්භක කවියත් අවසාන කවියත් දක්වාම ඇත්තේ මහා දිගු සබැඳියාවකි.කවි රසිකයෙකු නම් ඔබ කියැවිය යුතු පොතකි.

අවසාන වශයෙන් අශාන්ගේ කියැවීමක් මෙසේ සටහන් කරමි.
"මගේ අත්දැකීමේ හැටියට අප අතර ජාතිවාදී නැඹුරුවක් (ඔවුන්ට අනුව දේශප්‍රේමී) ප්‍රකට කරන බොහෝ අය මිනිසුන් වශයෙන් 'නරක' කුලයට වැටෙන්නෝ නොවෙත්".

මෙය කතෘ ප්‍රකාශනයකි. (ashanweerasingha@gmail.com) මගින් විමසීමෙන් පොත පිළිබඳව විස්තර ලබාගත හැකිය.මිල රුපියල් 250/= කි.

No comments:

Post a Comment