Wednesday, September 7, 2016

තෙරියුම් කෝකිළා (කවි) - කපිල එම්. ගමගේ


මිනිසෙකු වටහා ගැනීම බොහෝ අපහසුය එහෙත් කළා කරුවෙකු වටහා ගැනීම පහසුය.එයට හේතුවක් ඇත.සෑම මිනිසෙකුම සිය සිතිවිලි ප්‍රකාශ කරන්නේ නැත,ඒ හෙයින් ඔහු දැකිය නොහැකිය.එහෙත් කළා කරුවෙකු සිය සිතිවිලි කලා කෘතීන් ලෙස ඉදිරිපත් කරයි.එවිට ඔහුගේ කළා කෘතීන් තුලින් ඔහුව දැකිය හැකිය.

මිනිසෙකු ගේ සාමාජීය හැසිරීම ඒ සමාජයේ සියලූම මිනිසුන්ට වැදගත්ය.බලපෑම් කළ හැකිය.මා දකින ආකාරයට අප සමාජයේ සිදුවූ විශාලතම සාමාජීය වැරැද්ද නම් ජාතිවාදය වැපිරීමය.එහි අමිහිරි ම අතුරු ඵලය වන යුද්ධයෙන් අප රට බොහෝ කාලයක් දුක් වින්දේය.මෙය කියවන බොහෝ දෙනෙකු එයට ශාක්ෂි දරාවි,මිනිසුන් ජාතීන් දෙකක් ලෙස බෙදී දෙපැත්තකට වී එකිනෙකා මරාගත්තේය.වෛරය,ක්‍රෝධය වැපිරුවේය.ඒ වැපුරූව තුලින් මහා කුරිරු අස්වැන්නක් නෙලා ගත්තේය.අවසන ලේ වගුරුවමින්,ජීවිත බිලි ගනිමින්,දේපල විනාශ කරමින්,හීන බිඳ දමමින් යුද්ධය නිමා විය.ඉන් පසුව එලැඹියේ පස්චාත් යුධ සමයයි.දැන් එලැඹ තිබෙන්නේද ගෙවෙමින් තිබෙන්නේද ඒ සමයයි.මෙහිදී කළ යුත්ත බොහෝය.නොකල යුත්ත බොහෝය.කළ යුත්ත අවබෝධ කරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමත් නොකළ යුත්ත අවබෝධ කරගෙන ඒවා නොකර සිටීමත් මුලින්ම කළ යුතුය.සිදු නොවෙමින් පවතින්නේද එයයි.
                                                  කළා කරුවන්ට මේ යුද්ධය සිය නිර්මාණ  වල්ට තිඹිරි ගෙයක් විය.හඬා  වැටෙන්නට කඳුලක් විය.හම්බුකරන් කන්නට රස්සාවක් විය.කෙසේ වෙටත් යුධ සමයේ ඒ ආශ්‍රිතව බිහි වූ බොහෝ කළා කෘතීන් හි කටුකත්වය මුසු වූ රසයක් දක්නට විය.
                                                     "තෙරියුම් කෝකිළා"කපිලට අනුව යුද්ධයේ ශේෂ පත්‍රයයි.නිමවූ යුද්ධය ඔහු දකින්නේ කොයි ආකාරයකින් ද,ඔහුගේ කවියා එය ජීවමාන කරවන්නේ කොයි ආකාරයකටද,මෙය තුලින් වටහා ගත හැකිය.
                    කෙදිනක හෝ දවසක කෝකිලා ලා කියන දේ අප සැවොම තේරුම් ගන්නා දිනයක් යනු 'මගේ ඒකාන්ත සිහිනයයි.'කපිල සිය කෘතිය ආරම්භ කරන්නේ එසේය.

තෙරියුම් කෝකියා -
                        කෝකිලානුඹ කළු තමයි
                        ඒත් සිනහව සුදු තමයි
                        හැමදා ම නුඹ දුටුව සිහිනය
                        නුඹට හරියට බර වැඩියි.
                       ඇමරිකන් වහලක්,ගෙයක්
                       දිගැටි ඔස්ටින් කාර් එකක්
             පොත් ගොඩක් කියවලා නොනිදා
                       වෙද නලාවෙන් මාලයක්
                      හීනි අඩි උස සපත්තුවකින්
                මැදපු පොළොවට ටොකු ඇණන්
                      පිච්චමල කණ උඩින් ගවසා
                       සාරි පොට උරහිස වසන්
                       යාපනේ ඉස්පිරිතාලයේ
                       ඥාති මිතුරන් ලෙස බලන්
                       අනේ දැක්කත් ඇතිය කියනා
                       උන්ගෙ ලඟ සිනහව තියන්

ඔව් කෝකිලා ඔයා කලු යි තමයි...ඒ ඔයාගෙ  පිටත,පෙනුම...ඒත් කෝකිලා ඔයාගෙ සිනහව හරි සුදුයි..,ඔබ නිර්මලයි ඔව් කෝකිලා ඔයාගෙ ඇතුලාන්තය සුදුයි..පිරිසිදුයි ඔබ හැමවෙලේම බලාපොරොත්තු වූ ඉලක්කය නුඹට ලොකු වැඩියි කෝකිලා...නුඹට ඒ ඉලක්කය,සිහිනය ලබාගන්ඩ තරන් සුමට සමාජයක් නෑ කෝකිලා.යුද්ධය මේ සියල්ල ඔබෙන් ඈත් කරා,තාතිවාදය මේ සියල්ල ඔබෙන් ඈත් කළා,එකිනෙකා මරාගැනීම හින්ද මේ සියල්ල ඔබෙන් ඈත් කරවූව.ඒ සිහින ඔබට බර වැඩි උනෙ නෑ බර වැඩි කළා.

ඇමරිකන් වහලක් තියන ගෙයක් ,දිග ඔස්ටින් කාර් එකක් අන්තිමට වෛද්‍ය වරෙයෙක් වෙලා සාරියක් ඇඳක් ආඩම්බරයෙක් ඇවිදන් යන්ඩ කෝකිළා හීම මැව්ව.තමන්ගෙ ගමේම තමන්ගෙ පිරිසට සාත්තු කරන්ඩ කෝකිලා හීන මැව්ව.හරි අහිංසක හීන මැව්ව.ඒ හීන,අහිංසකත්වය සිංහලයයි දෙමළයි ගහගෙන නැතිකරා.
                                  
පොත අවසන මෙසේ සඳහන් වෙයි.
"තෙරුයිම් කෝකිලා ඒ ශේෂ පත්‍රය කවි ඇසකින් නිරීක්ෂනය කිරීමක් ලෙස ගැනීම වඩාත් සාදාරණ ය."

                                     කපිල කවි කියන තැන අපූරුය,.ඔහු සිය කවියෙන් තට්ටු කරන්නේ පහලම අඩියටය.ඇතැම් කතුවරු බහු ජනයා යොදාගෙන යුද්ධය හා හඬද්දි කපිල පොඩි තැනක් හොයාගෙන දරුණු පහරක් එල්ල කරයි.යුද්ධය නිසා අහිමි වූ දේපල,ජිවිත ගැන කියන කලා කෘති අතරෙ අහිමි වූ හීන ගැන රචනා වෙද්දී මහා ලොකු සංවේදී ගතියක් එහි ජනිත වෙයි.කළාකරුවෙකු තට්ටු කළ යුතු තැනට තට්ටු කළ යුතුය.ඒ තට්ටු කළ යුතු තැන හඳුනා ගැනීම කළ යුතුය.

කපිලගෙ එම්. ගමගේ කවියාගේ සිය "තෙරියුම් කෝකිළා" කෘතියෙහි ඇති "තාතෙක් නම්" කවියද ඉතා අපූර්ව ගනයේ කවියකි.පිය පදවිය නම් වූ පිරිමියෙකුට උත්තරීතරම පදවිය පිළිබඳව ඉතා රසවත්ව කළ ගෙනහැර පෑමක් එහි අන්තර්ගතය.

මේ කවි කියවන විට මාගේ මතකයට එන්නේ මාගේ පියාය.ඔහුගේ කැපකිරීම්,උත්සහයන් දැක කපිල මේ කවි පංතිය රචනා කළේදැයි මට සිතේ.මේ බහුතර පියවරුන් ගැන කපිල රචනා කළ කවිය මා මගේ පියා ඉදිරියේ කියවූ විට ඔහු පවා හැගුම්බර විය.මෙය මා මේ කවිපොතේ ආසාකරන ම කවිය යැයි පැවසුවහොත් මා නිවැරදිය.මෙය පියවරුන්ට ගැයූ උපහාර ගීයක් වැනිය.

තාතෙක් නම්-
             තාතෙක් නම්
             තිබිය යුතුම ය
             බඩගින්න
             නොනැදෙනා මොහොතක්
             මසවුලින් පිරි
             වීදි පසු කොට
             යන්න හැකි
             එඩිතර ම මනසක්
             තාත්තෙක් නම්
             තිබිය යුතුමය
             අපවාද උහුළනා පපුවක්
             තියුණු විෂ හී
             ඉවත් කළ විට
             කඳුලු නොගලන
             අරුම දෙනෙතක්
                                           (කොටසක් පමණි)

මා මුලින් සඳහන් කළ කළා කරුවෙකු හඳුනා ගත හැකි සේ කපිල එම්. ගමගේ සිය කළා කුසලතාවය තුලින් නිරීක්ශනය කළ හැකිය.ඔහු යුද්ධය දුටුවේ කෙසේද,ඔහු ජීවිතය දුටුවේ කෙසේද,ඔහු ආදරය දුටුවේ කෙසේද, කොටින්ම ඔබ මා හෙවත් සමාජය දුටුවේ කෙසේද,. කපිලගේ කවි පොතෙන් ඔහුව කියවා ගත හැකි ආකාරයි.

කවි පොත් කියැවීම බොහෝ දෙනෙකු කැමැත්තක් දක්වන්නේ නැත.එය හේතුව නම් බොහෝ කවි පොත් නීරස හා කටුක වීමයි.එහෙත් මෙහි කවියෙන් කවිය නවමු රසයක් ජනිත කිරීමට කවියා සමත් වෙයි.
පොත හැබෑවටම අපූරු කවි  33 යුක්ත වන අපූර්ව සංග්‍රහයකි.එහි හිත නැවතෙන තැන් බොහෝය.සෑම කවියක් අවසනම රසවිඳිය හැකිය.ඔබ කවියට කැමති නම් කියවිය යුතු පොතකි.


(සූරස ප්‍රකාශනයකි.මිල රු.200/=)

No comments:

Post a Comment